යසවර්ධන රුද්රිගූ l
මසක් ඇතුළත රජය තිරිඟු පිටි ගැටලුවට විසඳුමක් නුදුනහොත් රටේ පාන්, බනිස් සහ කෙටි කෑම නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැවැත්වීමට සිදුවන අතර ජනතාවට පෝලිමේ ගොස් හෝ පාන් ගෙඩියක් මිලට ගන්නට නොහැකි වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.
මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම්වලට ඩොලර් හිඟය නිසා මේ වනවිට සිය ආනයන කිරීමට නොහැකි වී ඇත. ඔවුන් මුල සිටම තිරිඟු පිටි ආනයනය කළ ඩුබායි සහ සිංගප්පූරු සමාගම්වලට ඩොලර් මිලියන 700කට අධික ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති නිසා පිටි ලබාගත හැක්කේ ඩොලර් අත්පිට ගෙවීමෙන් පමණක් බව වාර්තා වෙයි. ඉන්දියාවෙන් තිරිඟු පිටි ස්වල්ප වශයෙන් පසුගිය කාලයේ ගෙන්වුවද එරට ආනයනය නවතා ඇති නිසා ඉන්දියාවෙන්ද තිරිඟු පිටි ආනයනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව සභාපතිවරයාපවසයි.
මුලදී රුපියල් 8000 – 9000 ට අලෙවි කළ තිරිඟු පිටි මිටිය මේ වනවිට කළු කඩයේ රුපියල් 25,000 දක්වා මිල නැග ඇති අතර එම මිලට ගෙන නිෂ්පාදනය කළහොත් පාන් ගෙඩියක මිල රුපියල් 350ක්ද බනිස් ඇතුළු කෙටි කෑමවල මිල රුපියල් 150ක්ද ඉක්මවිය හැකි බව හෙතෙම පැවසීය.