2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ටිෂූ කඩදාසි කර්මාන්තය හාන්සියි

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 127

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

අගෝස්තු 23දා සිට භාණ්ඩ 300කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යංශය පියවර ගැනීමත් සමඟ සනීපාරක්ෂක ටිෂූ කඩදාසි කර්මාන්තය ද දැඩි අවදානමකට ලක්ව තිබේ.

එම නිසා ටිෂූ කඩදාසි ආදියේ විශාල හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි යැයි එම කර්මාන්තයේ නියැලෙන පිරිස් අනතුරු අඟවති.

ශ්‍රී ලංකාවට සනීපාරක්ෂක ටිෂූ නිෂ්පාදන ආනයනය නොකරන අතර කඩදාසි රෝල් පමණක් ආනයනය කොට මෙරටට අවශ්‍ය සියලු ටිෂූ නිෂ්පාදන සිදු කෙරේ. සනීපාරක්ෂක ටිෂූ නිෂ්පාදන කර්මාන්තය මහා පරිමාණ කර්මාන්තයක් නොවුවද එය එම කර්මාන්තයෙන් ඍජුව හා වක්‍රව 6000 පමණ පිරිසක් යැපෙන බවද වාර්තා වේ. 

මෙරට ප්‍රමුඛ පෙළේ සනීපාරක්ෂක ටිෂූ නිපදවන ආයතනයක් වන රෝවින් ඇසෝසියේට්ස්හි අධිපති රෝහිත රන්සිරි මහතා දේශයට සඳහන් කළේ මෙම තහනම එකවරම ක්‍රියාත්මක නොකොට යම් කිසි කාලසීමාවකින් පසු තහනම් කිරීමට කටයුතු කළේ නම්  මෙවැනි අර්බුදයක් නිර්මාණය නොවන බවයි. තහනම නිසා තම ආයතනයේ සේවකයන්ගේ රුකියා අවිනිශ්චිත තත්ත්වයක් උදාවන බවද, තම කර්මාන්තශාලාව සඳහා අති නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන ඇති හෙයින් ආයතනය වසා දැමුණහොත් ණය ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උදාවන බවද ඔහු සඳහන් කළේය. සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 300ක පමණ අමුද්‍රව්‍ය ආනයනය කරන බවත් කලින් කන්ටේනරයක් ලක්ෂ 30ක් පමණ වූ අතර මේ වනවිට කන්ටේනරයක් සඳහා ලක්ෂ 90ක් පමණ වැය වන බවද ඔහු සඳහන් කළේය.