2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

කොළඹ පොත් දැක්ම 16 ඇරඹේ

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 60

I කුසුම්සිරි විජයවර්ධන

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වැනි වරටත් සංවිධානය කරන 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 16 වැනිදා සිට 25 දා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වීමට නියමිතය.

මෙවර පොත් ප්‍රදර්ශනය දේශීය ප්‍රකාශකයන්, විදේශීය ප්‍රකාශන නියෝජිතයන් ඇතුළු ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවකින් සමන්විත බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති, පහන් ප්‍රකාශන අධිපති සමන්ත ඉන්දීවර දේශයට පැවසීය. 

ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙවර ප්‍රදර්ශනය පවත්වන කාලසීමාව පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා සීමා කළ බවත් පාඨක ඉල්ලීම සැලකිල්ලට ගෙන ඇතැම්විට වේලාව වෙනස් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

ඉදිකිරීම් වියදම ඉහළ නිසා වෙනදා පැවැත්වුණු ප්‍රදර්ශන කුටි 110ක් පමණ ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ. දිනපතා සංස්කෘතිකාංග සහ සාහිත්‍ය වැඩසටහන් ද සුපුරුදු පරිදි පැවැත්වීම සිදුවේ. ඒ අතරම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා සුබසාධක සංගමය සංවිධානය කරන ආහාරපාන සහ කෙටි කෑම අලෙවිසල්ද සහභාගි වන ජනතාවගේ පහසුවට සංවිධානය කර තිබේ. කොවිඩ් අවදානම නිසා සහභාගි වන ජනතාවට මුව ආවරණ සහිතව පැමිණෙන ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඉල්ලා සිටී. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙවරත් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ විජය පුවත්පත් සමාගමයි.