2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

සාහිත්‍ය මාසයේ පොත් මිල දෙගුණ වෙයි !

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:03 144

I කුසුම්සිරි විජයවර්ධන

මේ දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලුතින් මුද්‍රණය කළ පොත්වල මිල දෙගුණයක් හෝ ඊටත් වඩා වැඩිවී ඇති බව දේශය සමඟ අදහස් දැක්වූ පොත් ප්‍රකාශකයෝ පැවසූහ. සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි පැවසුවේ පිටරටින් ආනයනය කරන කඩදාසි, තීන්ත, මුද්‍රණ ප්ලේට් ඇතුළු අමුද්‍රව්‍ය මිල සියයට 300කටත් අධික මිලකින් ඉහළ ගොස් ඇති බවත් පොත්වල මිල නියම කිරීමේදී ප්‍රකාශකයාගේ ලාභය සීමා කර හැකි අඩුම මිලක් නියම කිරීමට තීරණය කර ඇති බවත්ය.

සරසවි ප්‍රකාශන සමාගමේ ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා සඳහන් කර සිටියේ 2021 දී රු. 500කට මිල නියම කළ පොතක් සාමාන්‍ය ප්‍රකාශකයකුට නම් මිල කිරීමට වන්නේ රු. 1500ක් වැනි මිලකට බවයි. සරසවි ප්‍රකාශන ආයතනය කඩදාසි ආනයනය කිරීමත් කරන නිසා ගිය අවුරුද්දේ රු. 500කට මිල කළ පොතක් රු. 1200ක් වැනි මුදලකට මිල කර ඇති බවත් ඔහු පැවසීය.  

කලකට පෙර තොග වශයෙන් කඩදාසි ගෙන්වූ මුදලාලිලාත් ඒවා මිල වැඩි කරමින් විකිණීම නිසා කඩදාසි කළුකඩ මිලක් හටගෙන ඇති බවත් බොහෝ මුද්‍රණාල හිමියෝ පැවසූහ. ෆාස්ට් ප්‍රකාශන ආයතනයේ අධිපති ප්‍රේම් දිසානායක දේශයට පැවසුවේ රු. 4500කට තිබුණු කඩදාසි රීම් එක කිහිප ගුණයකින් ඉහළ ගොස් පොත් මුද්‍රණය කරන ප්ලේට් රු. 240 සිට 1250 දක්වා ඉහළ ගිය අතර මෙසේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා නිෂ්පාදන වියදම හතර ගුණයකින් වැඩි වූ බවයි. අලුතින් මුද්‍රණය කරන පොත්වල මිල ඉහළ ගියත් පොත්වල පසුගිය මුද්‍රණ අඩු මිලට ලබාගත හැකි අතර ප්‍රදර්ශනයේ දේශීය ප්‍රකාශකයන්ගේ සියලුම පොත්වලට සියයට 20ක වට්ටමක් ලබාදෙන බවත් ඔහු පැවසුවේය.