2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

නීතිපති උපදෙස් නැතිව සැකසූ අධි ආරක්ෂක ගැසට්ටුව හකුලයි!

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:04 96

ආරක්ෂක වාර්තාකරැ l

පසුගියදා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ආන්දෝලනාත්මක අධි ආරක්ෂක කලාප ගැසට්ටුව සම්පාදනයට පෙර නීතිපතිවරයාගෙන් හෝ නීති කෙටුම්පත් සම්පාදකවරයාගෙන් විධිමත් උපදෙස් ලබාගෙන නැතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා මෙම දෝෂ සහිත ගැසට්ටුවට එරෙහිව පවරා ඇති නඩුවලදී තමන්ට රජය වෙනුවෙන් පෙනී සිටීම අපහසු බවද නීතිපතිවරයා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

පොලිස් නීති අංශය ලවා කෙටුම්පත් කරවන ලද මෙම ගැසට් පත්‍රය අත්සන සඳහා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ හෝ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ බලධරයන් විසින් එය නීතිපතිවරයාට හා රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයාට ඉදිරිපත් කොට නීතිමය උපදෙස් ලබාගත යුතුය. නමුත් එයට මෙලෙස නීති උපදෙස් ලබා නොගැනීමෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේය.

කොළඹ නගරයේ මර්මස්ථාන ගණනාවක් අධි ආරක්ෂක කලාප ලෙස දක්වමින් රාජ්‍ය රහස් පනත යටතේ ගැසට්ටුව නිකුත් වූ පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ සංවිධාන ගණනාවක් ඊට දැඩි විරෝධය පළ කළේය. සාමාන්‍යයෙන් අධි ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කළ යුත්තේ හදිසි නීතිය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වුවත් ඊට රාජ්‍ය රහස් පනත උපයෝගී කර ගැනීම නිසා මෙම ගැසට්ටුව පිළිබඳ අර්බුදය හටගැනිණි. 

එම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරය නිමවා සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි පසු සති අන්තයේදී මෙම ගැසට්ටුව අවලංගු කෙරෙන බවද වාර්තා විය.

මෙම අර්බුදකාරී සිදුවීමෙන් පසුව ජනාධිපති ලේකම්වරයා මහතා ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත විශේෂ දැනුම් දීමක් කරමින් සඳහන් කර ඇත්තේ නීතිපති උපදෙස්වලින් තොරව මින් ඉදිරියට කිසිදු ගැසට්ටුවක් හෝ විශේෂ චක්‍රලේඛයක් ජනාධිපතිවරයාගේ අත්සනට ඉදිරිපත් නොකළ යුතු බවය