ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා l
මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනවලට ලැබී තිබූ ඇණවුම්වලින් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් මේ වනවිට අහිමි වී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට ප්‍රකාශ කළේය.
වසර 15ක් පුරා ප්‍රධාන පෙළේ සන්නාමයක් (බ්‍රෑන්ඩඩ්) යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ඇඟලුම් කෝටාවක් මෙරටින් ඉවත් කොට වියට්නාමයට හා බංග්ලාදේශයට ලබා දීමට එම සුප්‍රකට විදේශීය සමාගම පියවර ගැනීම නිසා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් ආයතන 15ක පමණ නිෂ්පාදන කටයුතු ඇනහිට තිබේ එලෙස ශ්‍රී ලංකාවට අහිමි වී ඇති ඇඟලුම් කැබලි ප්‍රමාණය වසරකට මිලියන පහක් පමණ වේ. එය විශාල ප්‍රමාණයක් නොවූවද ඉන් කුඩා හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලාවලට විශාල බලපෑමක් ඇති කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා ස්ථාවර ආණ්ඩුවක් නොපැවතීම මත විදේශ සමාගම් බියට පත්වීම මෙවැනි තත්ත්වයක් නිර්මාණය කර තිබේ. රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් යුරෝපා රටවලට බලපා ඇති උද්ධමනකාරී තත්ත්වය හා ඇමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම මත නිර්මාණය වී ඇති අර්බුද හේතුවෙන් එම රටවලින් ලැබෙන ඉල්ලුමේ යම් අඩුවක් ද ඇතිවී තිබේ. ඇඟලුම් නිෂ්පාදනය කරන අනෙකුත් ආසියානු රටවලද උද්ධමනය ඉහළ ගියද ශ්‍රී ලංකාවේ තරම් ඉහළ අගයක නොමැති හෙයින් ඇඟලුම් ආනයන සමාගම් එම රටවල් වෙත යොමුවීමට බලපා තිබේ.