2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

පුංච් ඡන්දෙට කලින් අටදාහ හාරදාහට බස්සන්න පුළුවන්

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:02 153

දේශපාලන වාර්තාකරු l

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ගණන 8000 සිට 4000 දක්වා අඩු කළ හැකි බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට කීය.

මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසමට තවත් සාමාජිකයන් දෙදෙනකු පත් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නේය. ඒ සමඟ පළාත් පාලන මන්ත්‍රීන් ගණන අඩුකිරීම සඳහා වන නියමය (T.O.R) තම කොමිසම වෙත ලැබුණොත් මාස තුනක කාලයක් තුළ මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කළ හැකි බව අවධාරණය කළේය.

දැනට පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාස 4900ක් රට තුළ ක්‍රියාත්මකය. එයින් 900ක් පමණ අඩුකොට මන්ත්‍රී කොට්ඨාස 4000ක් සකස් කළ යුතුය. ඒ සඳහා මාස තුනක් ප්‍රමාණවත් බව කී හෙතෙම එසේ වුවහොත් ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් වන විට පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකි බවද කීය.

මේ ගැන මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ ද මන්ත්‍රීන් සංඛ්‍යාව අඩුකිරීම සීමා නිර්ණයක් තුළින් සිදු කළ යුතු වගයි. එහෙත් මැතිවරණ කොමිසමේ කාර්යභාරය වන්නේ පවත්නා නීතිය අනුව පළාත් පාලන ඡන්දය පැවැත්වීම වන නිසා මැතිවරණ කොමිසම ලබන මාර්තු මස ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු කරන බව සභාපතිවරයා කීය.