2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

විදුලි බිල යළි සියයට 30කින් නගී?- මූල්‍ය අරමුදලෙන් කොන්දේසි

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 236

I දේශපාලන වාර්තාකරු

විදුලි ගාස්තු 30% කින් නැවතත් ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කර ඇති ඩොලර් කෝටි 290ක (ඩොලර් බිලියන 2.9) ණය මුදල සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේ අවසන් තීරණය ගැනීමට පෙර විදුලිය ගාස්තු නැංවීම කළ යුතු බව එම නිර්දේශයේ සඳහන් බව වාර්තා වෙයි. එහෙත් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත. කෙසේ වෙතත් මුල්‍ය අරමුදල සිය ස්ථාවරය මහ බැංකු බලධරයන්ට ලිඛිතවම දන්වා තිබේ.

පසුගිය අගෝස්තු මාසයේ ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය ගාස්තු විශාල ලෙස ඉහළ දැමීය. එමගින් වාර්ෂිකව විදුලිබල මණ්ඩලයට ලැබෙන අතිරේක ආදායම රුපියල් කෝටි 1500 කි. (බිලියන 15 කි) එලෙස අතිරේක ආදායමක් ලැබුණත් තවදුරටත් විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් කෝටි 15,200 ක (රුපියල් බිලියන 152ක) අලාභයක් ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.