2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

ප්‍රියමාලි බේරන්න දේශපාලන මෙහෙයුමක්

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:04 453

I ආරක්ෂක වාර්තාකරු

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටි ගණනක මුල්‍ය වංචාවක් සිදු කළ තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා පොලීසියට දැඩි දේශපාලන බලපෑම් හතර අතින් එල්ලවෙමින් පවතින බව විශ්වාස කටයුතු පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම කාන්තාව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයන් සහ පොලීසියේ ඉහළ පෙළේ කිහිප දෙනකුම සිටින නිසා මෙලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් පැතීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම වැඩිදුර නීති උපදෙස් නීතිපතිවරයාගෙන් පැතීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ බලපෑම් සිදු කරන දේශපාලන බලවතුන්ගේ දෝෂාරෝපණයට පවා ලක්ව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. ඇතැම් දේශපාලන බලවතුන් තිළිණිට මුදල් ලබා දී ඇති බව ඇගේ දුරකතන විශ්ලේෂණයේදී තහවුරු වී ඇත. එහෙත් ඒ කිසිවෙක් මුදල් විශුද්ධිකරණ චෝදනාවට ලක්වෙතැයි බියෙන් පැමිණිලි සිදුකර නැත.

මෙම පරීක්ෂණවලට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවට තිබූ සැකය නිසා අගතියට පත් පැමිණිලිකරුවන් නීතියේ සහාය පැතීමට දැනටමත් නීති විශාරදයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව දැනගන්නට තිබේ.