2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

කුකුළු මස්- බිත්තර මිල නැග්ගේ හාල් හිඟය නිසා

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 71

I යසවර්ධන රුද්රිගු

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ වී මෝල්වලින් සහල් නිෂ්පාදනය කිරීම අඩුවීම බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා කියයි.

ඔහු දේශය පුවත්පතට පැහැදිලි කළේ රටේ ඇති වී මෝල්වලට සහල් නිෂ්පාදනයට ඉඩ ලැබුණහොත් ලැබෙන අතුරු නිෂ්පාදනවලින් දිනකට සත්ව ආහාර මෙට්‍රික් ටොන් 1000 බැගින් නිපදවිය හැකි බවයි.

එහෙත් මේ වනවිට වී මෝල්වල සහල් කෙටීම සීමා වී ඇත. එයට හේතුව රට සහල් අසීමාන්විතව ගෙන්වීමට කටයුතු කිරීම බව ඔහු කියයි. සභාපතිවරයා පවසන්නේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සහල් ආනයන බද්ද කිලෝවට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ඕනෑම කෙනකුට සහල්  ගෙන්වීමට අවසර දී තිබෙන බවකි. මේ හේතුව නිසා මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර තවමත් අසීමාන්තිකව සහල් ගෙන්වීම සිදුවේ. ලක් සතොස ආයතනයේ සහ සුපිරි වෙළෙඳසල්වල වැඩි වශයෙන් අලෙවි කරන්නේ මෙම රට සහල්ය.

මෙලෙස සහල් ආනයනය කිරීම නිසා මෙරට ගොවියාට අඩු මිලට වී අලෙවි කරන්නට සිදුව ඇති අතර මේ වසරේ වී මෙට්‍රික් ටොන් දස ලක්ෂයක අතිරික්තයක් ඇතිවී තිබේ.

දැනට සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ මෝල් සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇති අතර, මහ මෝල්වල ධාරිතාවෙන්ද දැනට වැඩ කරනුයේ 30% ක පමණ ප්‍රමාණයක් බව ඔහු පැවසීය. ආනයනික සහල් මෙරට සහල් මිලට වඩා කිලෝවක් රුපියල් 50 පමණ මිල අඩු නිසා අලෙවිය වැඩි බවද හෙතෙම වැඩිදුරටත් කීය.