2022 නොවැම්බර් 06 වන ඉරිදා

පාසල් උපකරණ අභ්‍යාස පොත් මිල තුන් ගුණයකින් නැගලා

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:03 311

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

කඩදාසි මිල සහ මුද්‍රණ කර්මාන්තය සඳහා භාවිත කරන අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා අභ්‍යාස පොත්, පාසල් උපකරණ ඇතුළු සියලු ලිපිද්‍රව්‍ය මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන පෙළේ ලිපිද්‍රව්‍ය අලෙවිකරුවෝ ප්‍රකාශ කරති. මේ හේතුවෙන් ලිපිද්‍රව්‍ය අලෙවියේ 50% ක පමණ පහත වැටීමක් පසුගිය කාලයේ සිදු වූ අතර මේ වනවිට එය 20% ක් පමණ වන බව ඔවුහු සඳහන් කරති.

මෙරට අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගමක ප්‍රකාශකයකු සඳහන් කරන පරිදි කොවිඩ් සමයේ ජීඑස්එම් 60 පිටු 80 අභ්‍යාස පොතක මිල පැවතියේ රුපියල් 55/- ක් ලෙසය. මේ වන එය රුපියල් 140/- ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසර දෙකකට ඉහත කඩදාසි ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 700ත් 800ත් අතර අගයක පැවතියේය. ඒ සඳහා වැට් සහ රේගු බද්ද 17% කි. මේ වනවිට කඩදාසි ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 1200ක් 1300ක් දක්වා ඉහළ ගොසිනි. වැට් බදු සහ අනෙකුත් බදු 28.5% කි. දෙවසරකට ඉහත බැංකු ණය සඳහා පොලී අනුපාතය 8%ත් 10%ත් අතර තිබූ නමුදු මේ වන විට එය 28%ත් 34%ත් අතර ඉහළ අගයක පවතී. එදා 190ත් 202ත් අතර තිබූ ඩොලරයේ අගය මේ වන විට රුපියල් 370 කි. අභ්‍යාස පොත් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇත්තේ මෙම හේතුවෙන් යැයි එම ප්‍රකාශකයා දේශයට ප්‍රකාශ කළේය.