2022 නොවැම්බර් 13 වන ඉරිදා

අධීක්ෂණ කාරක සභා 17ම සභාපති ධූර සජබ ඉල්ලයි

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:03 76

I දේශපාලන වාර්තාකරු

ළඟදී ස්ථාපනය කෙරෙන පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභා සියල්ලෙහි සභාපති ධුර විපක්ෂයට නොලැබෙන්නේ නම් විපක්ෂය එම කාරක සභා වර්ජනය කරනු ලබන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට දැනුම් දුන්නේය.

මෙලෙස ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන කාරක සභා ගණන 17 කි. ඒ ඒ අමාත්‍යංශ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ හා සකසනු ලබන පනත් කෙටුම්පත් අධීක්ෂණය කොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිරීක්ෂණ ලබාදීම අංශික අධීක්ෂණ කාරක සභාවල වගකීමයි.

මෙම සභා ස්ථාපිත කොට පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මේ සතියේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සහ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේදී නව කාරක සභාවල සභාපති තනතුරු සියල්ල විපක්ෂයට ලැබිය යුතු බවට වූ ඉල්ලීම ඉදිරිපත් විය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත් එම සභාපති ධුර විපක්ෂය විසින් දරන බැවින් මෙවරද එලෙස සිදුවිය යුතු බව ඉල්ලීම ඉදිරිපත් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

එහෙත් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන පොහොට්ටුව නියෝජනය කළ එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ඊට සිය දැඩි විරෝධය දැක්වීමත් සමඟ තත්ත්වය උණුසුම් විය. ඔහුගේ මතය වූයේ කාරක සභා 8ක් විපක්ෂයටත් සභා 9ක් ආණ්ඩුවටත් හිමිවිය යුතු බවය. අවසානයේ මේ ගැන පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ මතයද විමසීය. එහිදී මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව කාරක සභාවලට සාමාජිකයන් පත්කෙරෙන වගයි. අනතුරුව එම කමිටුව විසින් සභාපතිවරයා බහුතර ඡන්දයෙන් තෝරාගත යුතු යැයි මහලේකම්වරයා වැඩිදුරටත් කීය. එහෙත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය ස්ථාවරය වෙනස් කළේ නැත.