2022 නොවැම්බර් 13 වන ඉරිදා

පාසල් පෙළපොත් මෙවර මුද්‍රණ වියදම හත් ගුණයකින් නගී

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 64

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

2023 නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ වැයවන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්. අයිලප්පෙරුම මහතා දේශයට ප්‍රකාශ කළේය  2022 වසරේ පෙළපොත් මුද්‍රණය සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 2338 කි. ඒ අනුව 2023 වසර සඳහා වැයවන මුදල සත්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ

2023 වර්ෂය සඳහා වන පෙළපොත්වලින් 45%ක් මුද්‍රණ සංස්ථාව මගින් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර ඒ සඳහා අවශ්‍ය කඩදාසි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අමාත්‍යංශ ප්‍රසම්පාදන අංශය මගින් කටයුතු කරමින් සිටියි. ඉතිරි 55% පෞද්ගලික අංශය මගින් මුද්‍රණය කිරීමට නියමිතය. මේ වන විට පෞද්ගලික අංශයේ ආයතන 22ක් තෝරාගෙන ඇති අතර ඇණවුම ලබා දුන් විගස මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් සූදානම් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

2022 තෙවැනි වාරය අවසන් වන්නේ ලබන මාර්තු මාසයේ බැවින් නව වසර සඳහා අවශ්‍ය සියලු පෙළපොත් අප්‍රේල් මාසය වන විට සියලුම පාසල්වලට ලබා දිය හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.