2022 නොවැම්බර් 25 වන සිකුරාදා

උතුරු මුහුදේ ධන උල්පතක්

 2022 නොවැම්බර් 25 වන සිකුරාදා, පෙ.ව. 06:04 113

ව්‍යාපාරික වාර්තාකරු I

මන්නාරම පුනරීන් අවට මුහුදු කලාපයේ පවත්නා සුළං ප්‍රවාහය උපයෝගී කරගෙන මෙගාවොට් 30,000ක විදුලිබල උත්පාදනයක් කළ හැකි බව ඉන්දියානු විදුලිබල අමාත්‍යාංශය විසින් මෑතකදී සිදුකළ නවතම පර් යේෂණයකින් අනාවරණය වී තිබේ. මෙම සුළං බලය අප රටට විදේශ විනිමය උපයාගත හැකි මහා ධන උල්පතක් බවද එම පර් යේෂණය සිදු කළ විද්වතුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

එහි ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයෙන් මෙගාවොට් 30,000ක්ද ඒ මායිමේ ඇති ඉන්දීය මුහුදු කලාපයෙන් තවත් මෙගාවොට් 30,000ක්ද නිෂ්පාදනය කළ හැකි බව එම පර් යේෂණයෙන් වැඩිදුරටත් හෙළිදරව් වී ඇත. එයින් ඉන්දීය භූමි සීමාවේ ඇති ප්‍රදේශයේ දැනටමත් සුළං බලාගාර ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු එරට විසින් සම්පාදනය කර ඇතැයි සඳහන්ය.

ඉන්දියාවේ ප්‍රමුඛ බලශක්ති නිෂ්පාදකයකු වන අදානි සමාගම ප්‍රමුඛ ආයතන ගණනාවක් විසින්ද මෙම කලාපයේ පර් යේෂණ සිදුකර ඇත්තේ ඔවුන් ආරම්භ කිරීමට යන සුළං බල ව්‍යාපෘතියකට අදාළවය. දැනටමත් අදානි සමාගම යාපනය පුනරීන් කලාපයේ මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එහිදී විදුලිය මෙගාවොට් එකක් නිෂ්පාදනයට ඔවුන් ආයෝජනය කරන මුදල ඩොලර් මිලියනයක් බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

දැනට ශ්‍රී ලංකාවේ දෛනික විදුලිය නිෂ්පාදන හැකියාව මෙගාවොට් 4300ක් පමණය. එමෙන් හත් ගුණයක බලශක්තියක් මෙම කලාපයේ නොගැඹුරු මුහුදේ ඉදිකරන සුළං බලාගාරවලින් නිෂ්පාදනය කළ හැකි බවත් අතිරික්ත නිෂ්පාදනය ජාත්‍යන්තර වශයෙන් අලෙවි කොට අති විශාල ඩොලර් ආදායමක් ලබාගත හැකි බවත් එම පර් යේෂණ වාර්තාවේ සඳහන්ය. ඉන්දියාවට අමතරව ජපානය ද මෙම වාර්තාව අධ්‍යයනය කරමින් ඉදිරියේදී සුදුසු ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට සැරසෙන බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.