2022 දෙසැම්බර් 04 වන ඉරිදා

අයිස්- මත්පෙති රකුසා පාසල්- සරසවිත් ගිලගනී

 2022 දෙසැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 06:00 253

I ගයාන් ගාල්ලගේ

පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සීඝ්‍ර ලෙස අයිස් මත්ද්‍රව්‍ය පැතිර ගොස් ඇති බවට  පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. පාසල් පද්ධතිය තුළ 8 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඇතැම් සිසුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවල ඇතැම් තරුණ තරුණියන් අයිස් පානය කිරීම සඳහා හුරු වී සිටින බව අනාවරණය වී ඇත.  

ප්‍රධාන හේතුව වී ඇත්තේ අයිස් පානය කිරීමෙන් පසුව නිදිමැරීමට හැකියාව ඇතැයි පවතින දුර්මතය නිසා රාත්‍රියේ පාඩම් වැඩ කිරීමට බව බුද්ධි අංශ සඳහන් කරයි. එසේම පාසල් මට්ටමින් ජාවාරම්කරුවන් මුලින් ණයට ලබා දී ඊට ඇබ්බැහි වූ පසුව ණය පියවා ගැනීමට දරුවන් ලවා අයිස් මත්ද්‍රව්‍ය විකිණීම සිදු කරවන බවත් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

ඇතැම් පූජනීය ස්ථානවල පූජ්‍ය පක්ෂය, පොලිසියේ ඇතැම් පොලිස් නිලධාරීන්, වෙනත් ආරක්ෂක අංශවල ඇතැම් සාමාජිකයන් පවා අයිස් පානය කිරීම සඳහා හුරු වී ඇතැයි එම බුද්ධි අංශ විමර්ශනයේදී හෙළිදරව් වී ඇත.

පසුගිය කාලයේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් සිදු කළ පිරිස් මේ වනවිට මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට යොමුව ඇති බවද අනාවරණය වී ඇත. විශේෂයෙන් පසුගිය කාලය තුළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද අයිස් සමඟ හසුවී ඇති බවද සඳහන්ය.