2022 දෙසැම්බර් 11 වන ඉරිදා

විදුලිබල මණ්ඩලයේ පාඩු කතාව බොරු- ඔක්තෝබරයේ ලාභය කෝටි 280යි- මන්ත්‍රී චම්පික රණවක

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:02 102

දේශපාලන වාර්තාකරු I

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය අගෝස්තු මාසයේ විදුලිය ගාස්තු ඉහළ දැමීමෙන් පසුව ගිය ඔක්තෝබර් මාසයේ රුපියල් කෝටි 280ක් (මිලියන 2840) ලාභ ලැබීය

. එලෙස මණ්ඩලය දිගටම ලාභ ලබද්දී එය පාඩු ලබන බව කියමින් අසත්‍ය තොරතුරු සමාජගත කර නැවතත් විදුලිය ගාස්තු ඉහළ දැමීම බරපතළ අසාධාරණයක් බව හිටපු විදුලිබල අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා දේශයට කීය.

විදුලිය ඒකකයක් නිෂ්පාදනයට රුපියල් 56.90 ක් වැය වන බවට විෂය භාර අමාත්‍යවරයා කරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව පවසන චම්පික රණවක මහතා ඔහු එම ගණන කියන්නේ දෛනික විදුලි පරිභෝජනය ගිගා වොට් පැය 48 ක් ලෙස සලකමින් යැයි පැවසීය. එහෙත් සත්‍ය වශයෙන්ම දිනකට රට තුළ භාවිත වන්නේ ගිගා වොට් පැය 35 කි. එම බලශක්ති ප්‍රමාණය සැපයීමට දැනට විදුලිය ඒකකයකට අය කරන රුපියල් 32/- ක මුදල ප්‍රමාණවත් පමණක් නොව එයින් ලාභයක්ද හිමිවන්නේ යැයි රණවක මහතා අවධාරණය කළේය. මණ්ඩලය පාඩු ලබන්නේ නම් ඔක්තෝබර් මස කෝටි 280ක ලාභයක් ලැබුවේ කෙසේදැයි අමාත්‍යවරයා රටට පැහැදිලි කළ යුතු යැයිද රණවක මහතා වැඩිදුරටත් කීය.

රටේ දැනට පවත්නා බලශක්ති ප්‍රමාණය අනුව රට පුරා සිටින පාරිභෝගිකයන්ට විදුලිය ඒකක 120ක් දක්වා සැපයීමට පවත්නා ජල විදුලිය ප්‍රමාණවත්ය. රටේ සමස්ත පාරිභෝගිකයන් විදුලිය ඒකක 120ට වැඩියෙන් භාවිත කරන විට ගල්අඟුරු බලාගාරවල සහාය අවශ්‍යය.

 එසේම පාරිභෝගිකයන් විදුලිය ඒකක 300 ඉක්මවා භාවිත කරන්නේ නම් පමණක් ඉන්ධන (දැවි තෙල්) බලාගාර උපයෝගී කරගෙන විදුලිය නිපදවිය යුතුය. එනිසා විදුලිබල අමාත්‍යාංශය ජනතාවට සත්‍ය වසන් කර අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම වහා නතර කළ යුතු යැයි හිටපු අමාත්‍යවරයා තරයේ සඳහන් කළේය.