2022 දෙසැම්බර් 18 වන ඉරිදා

සීමා නිර්ණය වාර්තාව නැවත සමාලෝචනයට !

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 49

දේශපාලන වාර්තාකරු I

රජයේ තීරණය අනුව පළාත් පාලන ආයතනවල ඡන්ද බල ප්‍රදේශ ගණන 8,911 සිට 4,000 දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසම විසින් සකස් කරනු ලබන අවසන් වාර්තාව විශේෂ සමාලෝචන කමිටුවකට යොමුකොට සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට බලපාන පනත අනුව විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම සමාලෝචන කමිටුව පත්කොට එමගින් සීමා නිර්ණය කොමිසම ලබාදුන් අවසන් වාර්තාව නැවත සමාලෝචනය කළ යුතුය. එම කටයුත්ත සඳහා ගතවන කාලය තීරණය කළ යුත්තේද විෂය භාර අමාත්‍යවරයා විසිනි. අනතුරුව එම වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සීමා නිර්ණය කටයුතු හමාර වෙයි.

දැනට සීමා නිර්ණය කොමිසම ප්‍රකාශ කර ඇත්තේ ලබන පෙබරවාරි 28දා වනවිට සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව සපයන බවයි. එහෙත් ඒ හා සම්බන්ධ යට කී නෛතික ක්‍රියාවලිය ඉටුකළ යුතු බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම පැරණි මැතිවරණ කොට්ඨාස ක්‍රමය අනුව සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.