2022 දෙසැම්බර් 25 වන ඉරිදා

පොහොට්ටුව- සජබ සීමා නිර්ණය රැස්වීම වර්ජනය කරයි

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 243

දේශපාලන වාර්තාකරු l

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ සීමා නිර්ණය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා දේශපාලන පක්ෂ කැඳවා පවත්වන ලද විශේෂ රැස්වීම පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති ප්‍රධාන පක්ෂ දෙක විසින්ම වර්ජනය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ සමගි ජන බලවේගය එලෙස මෙම රැස්වීමට නොපැමිණි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි. එහෙත් පොහොට්ටුවට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ සහ සමගි ජන බලවේගයට සම්බන්ධ ඇතැම් හවුල්කාර පක්ෂ මෙම හමුවට පැමිණ තිබේ.

මෙහිදී එජාපය නියෝජනය කළ පක්ෂ නියෝජිතයන් යෝජිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීම විශේෂයකි. එහෙත් රැස්වීමට සහභාගි වූ බහුතර පක්ෂ ඉල්ලා සිටියේ නියමිත පරිදි පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසය.
ඇතැම් පක්ෂ සීමා නිර්ණය මගින් මහජන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කිරීමට විරුද්ධව අදහස් දක්වා තිබේ. තවත් සමහර මුස්ලිම් හා දෙමළ පක්ෂ සීමා නිර්ණය කටයුතු කෙරේ තමන්ගේ කිසිදු විශ්වාසයක් නැතැයි ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට ප්‍රධාන දේශපාලන පක්ෂ සහභාගි නොවීම ගැන සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දුන් හෙතෙම සඳහන් කළේ තමන් කැඳවූ රැස්වීමට පැමිණි පක්ෂවලට ස්තූතිය පළ කරන අතර, නොපැමිණි පක්ෂ ගැන කනගාටු වන බවය. ඡන්දයට හා බලය ලබාගැනීමට උනන්දු වන අතරම මෙම කටයුතු සඳහා සහාය දීමද ප්‍රධාන පක්ෂවල යුතුකමක් බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් නොපැමිණි දේශපාලන පක්ෂවලට මෙම මස 27 දින පැවැත්වෙන දේශපාලන පක්ෂ රැස්වීම සඳහා නැවත ආරාධනා කරන බවද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කීය.