2022 දෙසැම්බර් 25 වන ඉරිදා

ලබන 2දා වනවිට ගල්අඟුරු ඉවරයි- ජනක රත්නායක

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:04 153

ගයාන් ගාල්ලගේl

දැනට පවතින ගල්අඟුරු ජනවාරි 2දා සිට අවසන් වන බවත් ඊට පෙර ගල්අඟුරු නැවක් නොපැමිණියොත් විදුලි ඉංජිනේරුවන් කී පරිදි දැවැන්ත විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

පසුගිය බදාදා රාත්‍රී 12 වනවිට නොරච්චෝල බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂයක ගල්අඟුරු ප්‍රමාණයක් තිබූ බවත් දිනකට මෙට්‍රික් ටොන් 7500ක් අවශ්‍ය නිසා එම අඟුරු ප්‍රමාණය ජනවාරි 2 වැනිදා වනවිට අවසන් වන බව හෙතෙම සඳහන් කළේය.
මෙරට පැමිණීමට නියමිත ගල්අඟුරු නැව මොසැම්බික් රාජ්‍යයේ මපුටු ප්‍රදේශයේ ඇති බවත් ගල්අඟුරු පිරවීම අදින් (25) අවසන් වන නිසා එම නැව දින 13කට පසුව ලංකාවට පැමිණෙන බව ඒ මහතා කීය. එසේ පැමිණි නැවෙන් ගල්අඟුරු බෑම සඳහා තවත් දින 5 කට ආසන්න කාලයක් ගතවෙන බවත් ඒ නිසා ජනවාරි 2 සිට එසේ ගල්අඟුරු බෑම සිදුවන දිනය තෙක් ගල්අඟුරු අහිමි වුවහොත් නොරච්චෝල බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රිය වන බව හෙතෙම වැඩිදුරටත් කීය. ඒ නිසා විදුලි කප්පාදුවක අවදානම ඇති බව ජනක රත්නායක මහතා පැවසීය.