සංජීවිකා සමරතුංගl
පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ සමගි ජන බලවේගය (දුරකථනය) පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ ගැන දේශයට අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ සිය පක්ෂ මූලස්ථානයට ලැබී ඇති දහස් ගණනක් අයැදුම්පත් අතරින් සුදුස්සන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවමින් අපේක්ෂකයන් තෝරාගන්නා බවයි. නිසි කලට පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවත් මහලේකම්වරයා කීය.
සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පළාත් පාලන මැතිවරණය ගැන අදහස් දක්වමින් සිය පක්ෂ මූලස්ථානයට ඡන්ද අපේක්ෂකයන්ගේ අයැදුම්පත් 3000ක් පමණ ලැබී ඇති අතර දැන් සිටින මන්ත්‍රීවරුන් ඇතුළුව සුදුස්සන්ගෙන් අපේක්ෂකයන් තෝරාගනිමින් සිටින බව සඳහන් කළේය.
මැතිවරණ කොමිසම නියමිත කාල වකවානු අනුව පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය යැයි මහලේකම්වරයා වැඩිදුරටත් කීය.