ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා l
රටේ පවතින උද්ධමනකාරිත්වය නිසා ඉන්ධන, දේශීය සහල් සහ විදුලිය පරිභෝජනය අඩු වී ඇතැයි වාර්තා වේ. 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසය වන විට ඉන්ධන ඉල්ලුම 50%කින් පමණ අඩු වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කරයි. රටේ පවතින ආර්ථික අර්බුදය හා QR කේතයට පමණක් ඉන්ධන ලබා දීමට පියවර ගැනීම සහ පාරිභෝගියන් ඉන්ධන සංචිත රැස් කිරීමෙන් වැළකී සිටීම එයට බලපා තිබේ.
ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් නිශාන්ත රණවීර සඳහන් කළේ ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීම හා සතියකට වරක් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන හෙයින් ජනතාව ගමන් බිමන් සීමා කිරීම මෙම තත්ත්වයට බලපා ඇති බවටය. එසේ වුවද පසුගිය ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රැපියල් කෝටි 3600ක මෙහෙයුම් ලාබයක් ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙරට දෛනික සහල් අවශ්‍යතාව කිලෝ ලක්ෂ 65කි. ආර්ථික අසීරුතා මත ජනතාව දිනකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම, අල, බතල වැනි විකල්ප ආහාර වර්ගවලට යොමුවීම හා අඩු මිලට රට සහල් වෙළෙඳපොළේ පැවතීම වැනි කරුණු මත දේශීය සහල් පරිභෝජනය අවම වී ඇතැයි සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වේ. 2022 වසර තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් මෙරටට ආනයනය කර තිබේ. ඒවා මිලෙන් අඩුය. දේශීය සහල් මෙන් තත්ත්වයෙන් උසස් නොවුවද මිල අඩු නිසා ජනතාව විදේශ සහල් මිලට ගැනීමට හුරුවීම හා වී මෝල් හිමියන් වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සීමා කිරීම නිසාද දේශීය සහල්වලට ඇති ඉල්ලුම පහත වැටී තිබේ.
පසුගිය අගෝස්තු මාසයේ 76%කින් විදුලි බිල වැඩිවීම හේතුවෙන් ගෘහස්ත විදුලි පරිභෝජනය අවම වීම සහ සුළු පරිමාණ කර්මාන්ත වැසී යාම මත රටේ විදුලිය ඉල්ලුමද පහත වැටී ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.
මෙරට විදුලිය පරිභෝජනය කරන පිරිස ලක්ෂ 74ක් පමණ වේ. විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරැ සහ අධිකාරි සංගමයේ සභාපති කේ.ජී.යූ. නිශාන්ත මහතා දේශයට ප්‍රකාශ කළේ ගෘහස්ත අංශයේ 10%කින් හා කර්මාන්ත අංශයේ 15% කින් පමණ විදුලිය ඉල්ලුම පහත වැටී ඇති බවයි.