2023 ජනවාරි 01 වන ඉරිදා

සම්මුතියක් නෑ: ව්‍යවස්ථා සභාව කොට උඩ

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 37

දේශපාලන වාර්තාකරුl

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිකර ගැනීමට අසමත් වීම නිසා නව ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමේ කටයුතු අවුල් සහගත වී ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් 4 දෙනෙක් පත්කර ගැනීම සම්බන්ධව පක්ෂ නායකයන් අතර මත ගැටුමක් හටගෙන තිබේ. එහි ප්‍රධාන ගැටලුව හටගෙන ඇත්තේ සිවිල් සමාජ නියෝජිතයන් 3 දෙනකු ව්‍යවස්ථා සභාවට පත්කර ගැනීම සඳහා කතානායකවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

මෙම සාමාජිකයන් 3 දෙනා තෝරාගැනීම සඳහා කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර රැස්වීම් තුනක් පැවැත්වූ නමුත් යෝජිත නම් දෙකක් සඳහා එකඟත්වය ඇතිකර ගැනීමට නොහැකි වී ඇත. ඉදිරිපත් වූ නම් තුනෙන් පක්ෂ නායකයන් එකඟ වී ඇත්තේ ආචාර්ය ප්‍රතාප් රාමනුජම් මහතාගේ නමට පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම පත්වීම් තුන සිදු කළ යුත්තේ කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙනි.

එසේම ප්‍රධාන විපක්ෂය නියෝජනය නොකරන විපක්ෂයේ සුළු පක්ෂවල එකඟතාවෙන් පත් කරගත යුතු නියෝජිතයා සම්බන්ධයෙන්ද අදාළ පක්ෂ නායකයන්ට එකඟතාවක් ඇතිකරගත නොහැකි වී ඇත. එම තනතුර සඳහා උදය ගම්මන්පිල හා ඩී. සිද්ධාර්ථන් යන මන්ත්‍රීන් දෙදෙනාගේ නම් ඒ ඒ පක්ෂ විසින් යෝජනා කර ඇතත් එයින් එක් තැනැත්තකු තෝරාගැනීම සඳහා එම පක්ෂ නායකයන්ටද එකඟත්වයක් ඇතිකර ගැනීමට නොහැකි විය.

ඒ අනුව සාමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 4 දෙනකුගේ පත්වීම් සිදු නොවීම නිසා ව්‍යවස්ථා සභාව මෙන්ම ස්වාධීන කොමිෂන් සභා පත්වීම්ද දින නියමයක් නැතිව ඇණහිට තිබේ.