2023 ජනවාරි 08 වන ඉරිදා

බොරු දළදා මාලිගා සිද්ධිය: අපහාස නීතියට අනුව දඬුවම් ඕනෑ

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:01 123

අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ

කුසුම්සිරි විජයවර්ධන I

මේ දිනවල රටපුරා ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල පොතුහැර ඉදිකරන බව කියන ව්‍යාජ දළදා මාලිගා සිද්ධිය ගැන ජනාධිපතිවරයා ඇතුළු රජයට මල්වතු අස්ගිරි මහ නාහිමිවරැ සහ දියවඩන නිලමේවරයා විසින් පැමිණිලි කර ඇති බවත් ඒ ගැන රජයේ වගකිවයුත්තන් දණ්ඩ නීති සංග්‍රහයේ එන ආගමික අපහාස නීතියට අදාළ නීතිමය ප්‍රතිපාදන මත කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ දේශයට පැවසූහ.

ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම සහ දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම නිසා අහිංසාවාදී ආගමක් වන බුදුදහම හෑල්ලුවට ලක්වන බවත් නියම බෞද්ධයන් අවුලට පත් කිරීමක් මෙවැනි කටයුතුවලින් සිදුවන බවත් නාහිමියෝ පවසා සිටියහ.

ධර්මය විකෘති කරන පුද්ගලයන්, නිරාගමිකයෝ, ශාසන විරෝධී භික්ෂුන් වහන්සේලා  රටේ සිටින බවත් මේ නිසා බෞද්ධාගමට විශාල හානියක් සිදුවන බවත් වෙනත් ආගම්වලට මෙසේ හානිකරන පුද්ගලයන්ට විවිධ දඬුවම් ක්‍රියාත්මක කෙරැණත් අහිංසාවාදී ආගමක් වන බුදුදහමේ එවැන්නක් සිදුනොවීම ඇතැමුන් වාසියට ගෙන සිටින බවත් ලේඛකාධිකාරී හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළහ. මේ නිසා රජයේ වගකිව යුත්තන් නීතිය ක්‍රියාත්මක කිරීම මගින් එවැනි කටයුතු මගහැරවීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.