2023 ජනවාරි 15 වන ඉරිදා

ක්‍රිකට් ඇතුළේ බෝර්න් අගේන් ඔඩු දුවලා

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 58

සංජීවිකා සමරතුංග I

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් 'බෝර්න් අගේන්' ආගමික නිකායේ පාස්ටර්වරයාගේ අනාවැකි සනාථ වන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩා තරගවලදී හැසිරී ඇතැයි හිටපු නායකයකු වන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.
පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති T20 ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ ඇතැම් සිදුවීම් විමර්ශනයට පත් කළ පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාවේ මේ බව සඳහන් වෙයි
.

හිටපු මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය එම පරීක්ෂණ කමිටුවේ ප්‍රධානත්වය දැරීය. අර්ජුන රණතුංග මහතා අනාවරණය කළ ආකාරයට අදාළ 'බෝර්න් අගේන්' පාස්ටර්වරයා ක්‍රීඩකයකු එක් තරගයකදී තුවාල ලබන බවට අනාවැකියක් පළ කර තිබුණි. එසේ තිබියදී එම තරගයට සහභාගි වූ ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඒ ආකාරයට කකුල අල්ලාගෙන ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ බව ඔහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවක් 'බෝර්න් අගේන්' ආගම අත්හදන්නන් බවත් බෞද්ධයන් වන චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන්ට පවා 'බෝර්න් අගේන්' ආගමේ වැදගත්කම අවධාරණය කරමින් ආගම් ප්‍රධානියකු විසින් දේශන පවත්වා ඇති බවත් පරීක්ෂණ කමිටු වාර්තාව වැඩිදුරටත් කියයි.

පිටු 63 කින් සමන්විත පරීක්ෂණ කමිටු වාර්තාව මගින් ක්‍රිකට් ක්‍රීඩාවට 'බෝර්න් අගේන්' නිකායෙන් එල්ල වී තිබෙන බලපෑම ගැන දීර්ඝ වශයෙන් විස්තර කර තිබේ. ලංකාවේ ප්‍රධාන පෙළේ 'බෝර්න් අගේන්' පූජකවරයකු වන පාස්ටර් ජෙරොම් යන අයගෙන්ද කමිටුව සාක්ෂි ලබාගෙන ඇති නමුත් එම ආගම සම්බන්ධයෙන් සාක්ෂි දුන් බොහෝ දෙනකු සත්‍ය වසන් කළ බවද පරීක්ෂණ කමිටු වාර්තාවේ සඳහන් වේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් ප්‍රධානීන්, ඇතැම් ක්‍රිකට් විනිසුරුවන් සහ ඇතැම් ක්‍රිකට් විස්තර විචාරකයන්ද මෙම ආගමට තදින් සම්බන්ධ බව වාර්තාව හෙළිදරව් කර තිබේ. එම නිසා ඉදිරියේදී මෙම තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයාට මෙකී වාර්තාව මගින් නිර්දේශ කර ඇත.