2023 ජනවාරි 29 වන ඉරිදා

ඡන්දය කල් දැමීමේ යෝජනාවක්!

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 337

දේශපාලන වාර්තාකරු I

යෝජිත පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දැමීමට මැතිවරණ කොමිසම එකඟ කර ගැනීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. අප වෙත ලැබෙන වාර්තා අනුව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මැතිවරණය කල් දැමීමට අදාළ නඩුව කැඳවන මීළඟ දිනයේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම නඩුව මීළඟට කැඳවීමට ඇත්තේ පෙබරවාරි මස 10දාය.

දේශයට වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මුදල් අමාත්‍යංශයට මේ අවස්ථාවේ මැතිවරණයට අවශ්‍ය මුදල් සැපයීමේ අපහසුතාව, පොලිසියට මැතිවරණයේ ආරක්ෂාව සැපයීමේ අපහසුතාව, මැතිවරණයේදී ඉන්ධන හා සෙසු බලශක්ති සැපයීමේ අපහසුතාව, මැතිවරණ සීමා නිර්ණය කටයුතු මෙතෙක් හමාර නොවීම, මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි මේ දක්වා විධිමත්ව සකස් නොවීම, තරුණ නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට යෝජිත හේතු අතර වන බව සඳහන්ය.

රජයේ මෙම යෝජනාව විවෘත අධිකරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට එම කොමිසමේද එකඟතාවෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බව මේ ගැන දේශයට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.