2023 පෙබරවාරි 05 වන ඉරිදා

උපයන විට ගෙවීමේ බද්ද: මාසික ආදායම් ගණනයේදී සේවකයන්ට සහනයක්?

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 462

දේශපාලන වාර්තාකරු I

උපයන විට බදු අයකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ මාසික ආදායම් ගණනයේදී ඔවුන්ට හිමි නිල නිවාස, වාහන, ඉන්ධන හෝ ප්‍රවාහන දීමනා ආදිය ද මාසිකව ලබන මුල්‍ය ප්‍රතිලාභයක් ලෙස සලකා අය කෙරෙන බද්ද අඩු කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්න්ධයෙන් පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබිණි. එහිදී වෘත්තිකයන්ගෙන් බදු අය කිරීමේදී යට කී දීමනාවෙන් අය කෙරෙන බදු ප්‍රතිශත අඩු කිරීමට සුදුසු නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ බලධරයන්ට නියම කළ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

ඇතැම් රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික අංශ සේවකයන් ලබන වැටුපට සමානවම දීමනා ද ලබන නිසා ඒ සියල්ල මාසික ආදායම ලෙස නොසලකා සහනයක් සැලසීම මෙම බදු ගැලපීමේ අරමුණ බවත් අමාත්‍ය ගුණවර්ධන වැඩිදුරටත් කීය.