2023 ජුලි 01 වන සෙනසුරාදා

සියයට 9ක EPF පොලිය වෙනස් වෙන්නෙ නෑ

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:01 113
I දේශපාලන වාර්තාකරු

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටේ බැංකු පොලී අනුපාතය අඩු වුවද දැනට ඊ.පී.එෆ්. අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන 9% ක පොලිය ස්ථාවරව ගෙවීමට රජය තීරණය කර තිබේ. එහෙත් සෙසු බැංකු ගිණුම්වලට ගෙවනු ලබන පොලිය රටේ ක්‍රියාත්මක සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට අනුව ගෙවීමට සිදුවන බවද සඳහන් වේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් දැනුම්වත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් නිත්‍ය වශයෙන්ම අඩුවිය හැකි අතර එය ව්‍යාපාර සඳහා මෙන්ම තමන්ගේ වෙනත් අවශ්‍යතාවලට ණය ලබාගන්නන්ට විශාල සහනයක් වන බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකුවල ස්ථාවර තැන්පත් පවත්වාගෙන යන්නන්ට හෝ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල්වලට හානියක් සිදුනොවන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.