2023 ජුලි 15 වන සෙනසුරාදා

දූෂණ විරෝධී නව පනත

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:04 146

 දේශපාලන වාර්තාකරු I

► ක්‍රීඩා තරග මුදලට පාවාදීම
► ලිංගික අල්ලස් ඉල්ලීම
► විශ්‍රාමිකයන් වසර 2 කට පසු වත්කම් ප්‍රකාශ ලබා නොදීම වරදක්
► පැමිණිල්ලටත් කූඩුවට දාන වරම්

මුදලට ක්‍රීඩා තරග පාවාදීම, ලිංගික අල්ලස් ඉල්ලීම සහ ලබාගැනීම දූෂණ විරෝධී නව පනත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස නීතිගත කර තිබේ. ඒ සමඟ මෙතෙක් අල්ලස් දූෂණ පනතින් ආවරණය නොවූ පෞද්ගලික අංශයේ අල්ලස් හා දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නව පනතෙහි විධිවිධාන ඇතුළත් බව වාර්තා වෙයි.

එසේම රාජ්‍ය නිලධාරින් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද අලුත් විධිවිධාන ගණනක් නව දූෂණ විරෝධී පනතෙහි ඇතුළත් වෙයි. ඔවුන් සේවය කරන කාලයෙහි වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය.

එසේම රැකියාවෙන් විශ්‍රාම ගන්නා විටද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය. මෙහි ඇති විශේෂම විධිවිධානය වන්නේ රැකියාවෙන් විශ්‍රාම ගෙන වසර දෙකකට පසුවත් වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබාදීම සඳහා පනවා ඇති නීතියයි. එසේම මෙතෙක් පැවති අල්ලස් දූෂණ නීතිය අනුව යමෙක් අත්අඩංගුවට ගත හැකිව තිබුණේ අල්ලස් වරදක් කරන අවස්ථාවේදී පමණි. නමුත් නව පනත අනුව අල්ලස් දූෂණ ක්‍රියාවක් සම්බන්ධව ලැබෙන පැමිණිල්ලක් මත වුවද පුද්ගලයකු අත්අඩංගුවට ගත හැකි බවට විධිවිධානයක් පනවා තිබේ. මෙම විධිවිධානය බෙහෙවින් බරපතළ කරුණක් වන බැවින් එය සංශෝධනය කළ යුතු බව මැතිසබයේ පාර්ශ්ව ගණනාවක් පෙන්වා දී ඇතැයි සඳහන් වෙයි.

මෙම විධිවිධාන ඇතුළත් නව දූෂණ විරෝධී පනත ලබන 19දා මැතිසබයේදී නැවත විවාදයට ගැනෙයි.