2023 ජුලි 15 වන සෙනසුරාදා

භික්ෂු විනය භික්ෂූන්ටම බාරයි - බුද්ධ ශාසන ලේකම්

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

I කුසුම්සිරි විජයවර්ධන

භික්ෂුන්ගේ විනය සම්බන්ධව කටයුතු කිරීම ගිහියන්ට අදාළ නොවන අතර ඒ සඳහා කටයුතු කළ යුත්තේ එම හිමිනම අයත් නිකායේ හෝ නිකාය පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේලා බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ දේශයට පැවසුවේය. 

ඔහු එසේ සඳහන් කළේ පසුගියදා කඩුවෙලට ආසන්න පහළ බෝමිරිය විහාරයක සිදුවූ සිද්ධිය සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍ය මුල්කර ගනිමින් පැතිරී තිබෙන කතිකාව පිළිබඳව විමසීමේදීය. 

මේ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීම පිණිස මේ වනවිට නිකාය කතිකාවත් පනතක් කෙටුම්පත් කර ඒ පිළිබඳව මහනායක භික්ෂුන් වහන්සේගේ යෝජනා ලබාගැනීමට අවසන් කෙටුම්පත මහනායක හිමිවරුන්ට බාරදී තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියේය. එම යෝජනා ලබාගැනීමෙන් පසුව නිකාය කතිකාවත් පනතට කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ක්‍රියා කරන බවත් විදානපතිරණ මහතා කීවේය. බුද්ධ ශාසන අමාත්‍යංශය කටයුතු කරන්නේ සියම් නිකාය (මල්වතු හා අස්ගිරි පාර්ශ්වය), රාමඤ්ඤ නිකාය සහ අමරපුර නිකාය යන ත්‍රෛනිකාය සම්බන්ධයෙන් බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.