2023 ජුලි 22 වන සෙනසුරාදා

ගිවිසුම් හතරකට රනිල් - මෝදි සම්මුතියක

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 4 ක් අත්සන් කෙරෙන බව දේශයට වාර්තා වෙයි.

ඉන් පළමු අවබෝධතා ගිවිසුම ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට අදාළ ගිවිසුමය. දෙවැනි ගිවිසුම විකල්ප බලශක්ති (පුනර්ජනනීය බලශක්ති) උත්පාදනයට අදාළ ගිවිසුමකි. එසේම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විදුලිය කේබලයක් ඇතිරීමද මෙම ගිවිසුම අනුව සිදුකෙරේ.

තුන්වැනි ගිවිසුම පශු සම්පත් හා කිරි නිෂ්පාදනයට අදාළ ගිවිසුමයි. මෙම ප්‍රධාන ගිවිසුම් තුනට අමතරව ඉන්දීය රුපියල්වලින් ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු කිරීමට අදාළ ගිවිසුමක්ද දෙරට අතර අත්සන් කෙරේ. මෙම ගිවිසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන් හමුවේ හුවමාරු කර ගැනීමටද නියමිතය.

මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපතිනිය, විදේශ අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා හා ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා කරයි. 

සංචාරය අතරතුර ඉන්දීය නායක නරේන්ද්‍ර මෝදි මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ භෝජන සංග්‍රහයක් පිරිනමයි. ඊට සහභාගි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති මෝදි මහතා පමණි. මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් වන අතර මීට පෙර ඉන්දීය නායකයා මේ ආකාරයට තනිව භෝජන සංග්‍රහයක් පිරිනමා ඇත්තේ ප්‍රංශ ජනාධිපති එම්මෑනුවල් මැක්‍රෝන් මහතාට පමණි.