I කුසුම්සිරි විජයවර්ධන
අධිවේගී මාර්ගයේ ශ්‍රීලංගම බස් රථවල ටිකට්පත් වංචා කිරීමට මේ වනවිට කොන්දොස්තරවරු ෆේස්බුක් සහ වට්ස්අප් කණ්ඩායම් වැනි ඩිජිටල් සමාජ මාධ්‍ය යොදාගෙන කටයුතු කරන බවත් ඒ සඳහා සමහර නිලධාරින්ද හවුල් වන බවත් ලංගම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසුවේය.
මෙහිදී සිදුවන්නේ සැකසහිත බස් රථවල ටිකට්පත් පරීක්ෂා කිරීමට ටිකට් පරීක්ෂකවරුන් ප්‍රධාන කාර්යාලයෙන් හෝ වෙනත් ස්ථානවලින් පිටත් වනවිටම කොන්දොස්තරවරුන්ගේ ස්මාට් දුරකථනයට වට්ස්අප් ඔස්සේ ඒ බව සඳහන් කර පණිවුඩ ලැබීමයි. මෙම පණිවුඩය වට්ස්අප් කණ්ඩායමකට යොමුකරන නිසා විවිධ බස් රථවල වංචාකරන සියලුම කොන්දොස්තරවරුන්ට එකවර තොරතුර ලැබෙන අතර එවිට ඔවුන් පරීක්ෂකවරුන්ගෙන් බේරීමට උපක්‍රම අනුගමනය කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.
මේ නිසා ශ්‍රීලංගමට දිනකට සැලකිය යුතු මුදලක් අහිමි වන බවත් මේ වනවිටත් අධිවේගී මාර්ගයේ ටිකට් පොත්වලින් ටිකට් නිකුත් කිරීම තහනම් කර ටිකට් මැෂින් පමණක් යොදවා තිබෙන බවත් ඔහු පැවසුවේය. පසුගියදා ඇඹිලිපිටියේ බස් රථයක සිදුකළ ව්‍යාජ ටිකට් වංචාවට අමතරව මේ වනවිට අධිවේගී බස් රථ සේවයේ එක් වංචාවක්ද ගාල්ල අධිවේගී බස් රථයක ටිකට්පත් 51ක වංචාවක්ද හෙළිවී ඇති බව ලංගම ප්‍රකාශකයා දේශයට කීය. ගාල්ල වංචාවට සම්බන්ධ තිදෙනකු මේ මස 21දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සියලුම ටිකට්පත් වංචා සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙන බවත් ඔහු තවදුරටත් කීවේය.