දේශපාලන වාර්තාකරු I
තීරණාත්මක විෂයන් දෙකකට අදාළව අලුතෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා දෙකක් පත් කිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට මේ සතියේ දැනුම් දුන්නේය.
ඉන් පළමුවැන්න පාර්ලිමේන්තුවේ පරම අයිතියක් වන මූල්‍ය පාලන බලය සම්බන්ධයෙන් සිදුකෙරෙන අධිකරණමය මැදිහත්වීම් ගැන විමර්ශනය කිරීම සඳහා වන තේරීම් කාරක සභාවයි. දෙවැනි තේරීම් කාරක සභාව පත් කෙරෙන්නේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක අධ්‍යක්ෂවරයකු ආණ්ඩුව ගෙදර යැවිය යුතු යැයි මාධ්‍යයේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ විමර්ශනය කරන තේරීම් කාරක සභාවයි. මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට තුඩුදුන් ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයද මේ අවස්ථාවේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ වාදනය කර ඇත. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රශ්න කළේ මාධ්‍ය ආයතන අධ්‍යක්ෂවරුන්ට ආණ්ඩුව ගෙදර යැවීම ගැන මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්නට අවසරයක් නොමැති බවය. තමන්ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම පවා සිදුවූයේ මෙවැනි පෙළඹවීම් නිසා බවද ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා සිහිපත් කළේය.