2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මහා භාරකාර දේපළ හොරු අරන්! වටිනාකම කෝටි දහසකට වැඩියි

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:04 215

වසර ගණනාවක් තිස්සේ සිදුවූ සොරකමක් 

I ආරක්ෂක වාර්තාකරු

මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 1000ක (රුපියල් මිලියන 10,000) පමණ වටිනා දේපළ විවිධ බාහිර පුද්ගලයන් විසින් නීතිවිරෝධී ලෙස වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීම නිසා මහා භාරකාර දෙපාර්තමේන්තුව බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව දේශයට වාර්තා වෙයි.

දැනට මහා භාරකාරවරයාට පවරා ඇති විවිධ බූදල්වලට අයත් වතු 11ක් සහ තවත් ගොඩනැගිලි හා දේපළ රාශියක් පාලනය කිරීමේ නීතිමය වගකීම දරන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුවයි. එහෙත් එම දේපළවලින් සෑහෙන ඉඩකඩම් හා ගොඩනැගිලි ප්‍රමාණයක වත්කම් හා ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන බව වාර්තා වෙයි.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් අසල පිහිටි එක්තරා නිවෙසක් මහා භාරකාරයාට පැවරීමෙන් පසු එම නිවෙස බලා කියා ගැනීමට භාරදුන් එකල මහා භාරකාර දෙපාර්තමේන්තුවේම සේවය කළ නිලධාරිනියක් අදාළ දේපළ ආදායම් නොගෙවා වසර 17ක්ම එම නිවෙස පරිහරණය කරන බව සඳහන්ය. එසේම ප්‍රබල මැදපෙරදිග රටක තානාපති කාර්යාලය පවත්වාගෙන යන්නේ මහා භාරකාරවරයාට පවරා ඇති මන්දිරයකය. එහෙත් එහි ආදායම් ලබාගන්නේ තුන්වැනි පාර්ශ්වයක් විසින් බවද අනාවරණය වී තිබේ.

කොළඹ නගර මධ්‍යයේද, වැල්ලවත්තේද, පිළියන්දල සමරකෝන් බූදලයට අයත් ඉඩම් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක්ද මෙලෙස අනීතිකව විවිධ ආයතන සහ පුද්ගලයන් අත්පත් කර ගැනීම නිසා බරපතළ නීති ප්‍රශ්න උද්ගත වී ඇතැයි වාර්තා වේ.
මෙලෙස මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දේපළ හා වත්කම් දිගුකලක් තිස්සේ බාහිර පුද්ගලයන් නීතිවිරෝධීව අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වත්මන් මහා භාරකාර විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් දේශය විමසීමක් කළේය. එහිදී මහා භාරකාරවරයා ප්‍රකාශ කළේ මෙලෙස දෙපාර්තමේන්තුව සතු දේපළ හා වත්කම් රාශියක් වසර ගණනාවක් තිස්සේ බාහිර පුද්ගලයන් නීතිවිරෝධීව භුක්ති විඳින බවට තොරතුරු ලැබී ඇති බවයි. 

තමන් මෙහි සේවයට පැමිණ ගත වී ඇත්තේ මාස 4ක කෙටි කාලයක් බැවින් පවත්නා තත්ත්වය අධ්‍යයනය කොට මෙම දේපළවල වත්කම් හා ආදායම් දෙපාර්තමේන්තුවට ලබාගැනීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.