2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

රට බංකොළොත් කළේ යහපාලන නඩයයි - මහින්ද රාජපක්ෂ

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

දේශපාලන වාර්තාකරු I

රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ රාජපක්ෂවරුන් නොව එදා යහපාලන ආණ්ඩුවේ දායකයන්ව සිටි වත්මන් සජබ ලොක්කන් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

තමන් 2015 මැතිවරණය පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7%කි. එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්සවූයේ රාජපක්ෂවරුන්දැයි තමන් සජබ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන වග හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. එය ආර්ථික වර්ධනයක්දැයි තමන් ඔවුන්ගෙන් විමසන්නේ යැයිද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට උපරිම ලෙස ගෞරව කරන බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා 2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් බවද කීය. එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සජබයෙන් ප්‍රශ්න කරන වගද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. එසේම එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ඔවුන්ගේ වැඩසටහනට සම්බන්ධ නොවූයේ රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව බවත් ඔහු කීය.

මෙහි හාස්‍යයට කරුණ වන්නේ වැට් බදු ඇතුළු බදු අඩුකිරීමට එරෙහිව උසාවි ගිය විද්වතුන් වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ නිර්දේශ මත බදු විශාල ලෙස ඉහළ දමන විට ඊට එරෙහිව මහ පාරේ පෙළපාළි යාම යැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.