2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

මෝල් හිමියන් පස්දෙනෙක් කීරි සම්බා හිඟයක් මවලා - මැති ඇමැති පිරිසකුත් හවුල්

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:03 160

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

මේ දිනවල රට පුරා ඇතිවී තිබෙන කීරි සම්බා සහල් හිඟය නිර්මාණය කර ඇත්තේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහ සහල් මෝල් හිමියන් පස්දෙනකුගේ ඒකාධිකාරියක් විසින් යැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා දේශයට ප්‍රකාශ කළේය. මේ වන විට රටේ සමස්ත සහල් වෙළෙඳපොළින් 95%ක්ම මෙම ව්‍යාපාරිකයන් පස්දෙනා විසින් පාලනය කෙරෙයි. සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝබර් 15ත් ජනවාරි 15ත් අතර කාලයේ සහල් මිල ඉහළ යන බැවින් කලින් ගබඩා කරගත් වී වලින් සකසා ගන්නා සහල් මේ කාලයේ වෙළෙඳපොළට වැඩි මිලට නිකුත් කොට වැඩි ලාබයක් ලබාගැනීමට මෙම පිරිස කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.

ගොවියා සහ පාරිභෝගිකයා ගැන නොසිතන ආණ්ඩුව සියලු ප්‍රතිපත්ති නිර්මාණය කරනුයේ එම ව්‍යාපාරිකයන් කිහිප දෙනා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවද ඔහු සඳහන් කළේය.

කීරි සම්බා කිලෝවක් සඳහා පවතින පාලන මිල රුපියල් 260ක් වුවද මෙම ව්‍යාපාරිකයන් වී කිලෝවක් රුපියල් 120ට පමණ මිලට ගෙන ගබඩා කිරීමෙන් පසු වී මිල රුපියල් 200 දක්වා ඉහළ නංවා තිබේ. මේ වනවිට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 300 වැනි අගයක පවතී. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති අතර. පසුගිය වසර දෙකට සාපේක්ෂව මේ වන විට සහල් පරිභෝජනය 30%කින් පමණ පහත වැටී ඇතැයිද ඔහු සඳහන් කරයි.

තවත් මාස දෙකකින් මහ කන්නයේ වී අස්වැන්න නෙලා ගැනෙන අතර මේ අවස්ථාවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමෙන් ලබන වසර ආරම්භය වන විට රටේ සහල් විශාල අතිරික්තයක් ඇතිවිය හැකි යැයිද ඉන් සිදුවන්නේ සුළු සහල් ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ කඩා වැටීම යැයිද මුදිත පෙරේරා මහතා කියා සිටී. සාමාන්‍යයෙන් මෙරට සහල් පරිභෝජනය මසකට මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ වන අතර ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකි. ආණ්ඩුව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ ආනයනය කළ පොන්නි සම්බා තවමත් රට තුළ පවතින අතර මේ වන විට පොන්නි සම්බා කිලෝවක මිල රුපියල් 500ක් බවද තමන් සතුව කීරි සම්බා සුළු තොගයක් පවතින අතර ඒවා කිලෝවක් රුපියල් 260ට අලෙවි කරන බවද ඔහු සඳහන් කළේය.