බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා
අහිමිවූ බදු මුදල කෝටි සිය ගණනක්
ට්‍රුක්ටර් ලොරි රථවල නොම්මරවලට ජීප් රථ ලියාපදිංචි කරලා
දේශපාලන වාර්තාකරු I
අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ දැවැන්ත ජාවාරමක් අල්ලස් දූෂණ කොමිසම විසින් කොටු කරගෙන තිබේ. මේ නිසා රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් කෝටි සිය ගණනකි.
කොමිසමට ලැබුණු තොරතුරු අනුව මෙලෙස නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වටිනා වර්ගවලට අයත් ජීප් හා කාර් රථ 500ක් පමණ දැනට විවිධ ධනවත් හා බලවත් පුද්ගලයන් සතුව තිබෙන බව වාර්තා වෙයි.
මේ වන විට එයින් වාහන දෙකක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී මේ මහා පරිමාණ ජාවාරම ගැන තොරතුරු හෙළිදරව් විය. මෙහි මුල්ම සැක කටයුතු වාහනය පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට පත් විය.
වාර්තා වන ආකාරයට මෙම ජාවාරම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ඉහළ නිලධාරියකු හා සහකාර ප්‍රවාහන කොමසාරිස් මට්ටමේ නිලධාරියකු ද සම්බන්ධ බවද අල්ලස් දූෂණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.
මෙලෙස වංචාකාරී ලෙස ලියාපදිංචි කරන ලද අලුත් ජීප් හා කාර් රථ සඳහා ලබා දී ඇති ඇතැම් අංක ට්‍රුක්ටර් මෝටර් සයිකල් හා ලොරි රථවලට කලින් ලබා දී ඇති වාහන අංක බව කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළිදරව් වී තිබේ.
මේ සම්බන්ධව දැනටමත් මූලික අධිකරණමය ක්‍රියාමාර්ග අල්ලස් දූෂණ කොමිසම විසින් ගෙන ඇති අතර සෙසු වාහන සොයාගැනීමට යළිත් දීපව්‍යාප්ත මට්ටමින් පරීක්ෂණයක් දියත් කර තිබෙන බව වාර්තා වෙයි.