2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

හොර බේත් වෙළෙඳුන් දඬුකඳට

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 93

 මසකට පරීක්ෂණ දාහක් 

 සුගත් පී කුලතුංගආරච්චි I

දැනට දැඩි ගැටලුවක් බවට පත්ව තිබෙන හියුමන් ඉමිනෝග්ලොබියුලින් වැනි බාල ඖෂධ තවදුරටත් ඉදිරියේදී සමාජගත වීම වැළැක්වීම සඳහා සියලු පහසුකම්වලින් යුතුව නවීකරණය කළ නව ඖෂධ තත්ත්ව රසායානාගාරයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නොබෝදා විවෘත කරනු ලැබීය. දැනට මේ රසායනාගාරය මගින් මසකට ඖෂධ 70කට අධීක ප්‍රමාණයක් පරීක්ෂා කරන අතර ඒ ප්‍රමාණය මාසයකට ඖෂධ පරීක්ෂණ දහසක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස මෙහිදී ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සාංස්ථාවට අයත් මේ රසායනාගාරය මගින් සංස්ථාවේ ඖෂධ අදියර  4 ක් යටතේ පරීක්ෂාවට ලක් කරනු ලබයි. එනම් ටෙන්ඩර් නියැදි පරීක්ෂාව (නැව්ගත කිරීමට පෙර ලබාගන්නා නියැදි පරීක්ෂාව) බෙදා හැරීමට පෙර ලබාගත් නියැදි පරීක්ෂාව සහ මහජන පැමිණිලි මත නියැදි පරීක්ෂාවයි. මෙයට අමතරව වෛද්‍ය සැපැයුම් අංශයේ ඖෂධ නියැදි පරීක්ෂාව ද මෙහිදී සිදු කෙරෙයි. පසුගිය සමයේ වෙළෙඳපොළ අහඹු පරීක්ෂාව වැනි මේ සමහර පරීක්ෂාවන් ක්‍රමානුකූලව සිදු නොකෙරුණු බවට චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන් හියුමන් ඉමිනෝග්ලොබියුලින් වැනි බාල ඖෂධ සමාජගත වීමේ මගඩි සහ ගනුදෙනු ඉහළ ගියේය. වෛද්‍ය සංගම් ද මෙරටට තත්ත්වයෙන් උසස් පරීක්ෂණාගාරයක් අවශ්‍ය බවට පසුගිය කාලයේ නිතර අවධාරණය කර තිබුණි.