ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
2024 වසරේ රාජ්‍ය ආදායමින් රුපියල් බිලියන 720ක් වැට් බදු මගින් උපයා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ යැයි පබ්ලික් ෆිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ආණ්ඩුව 2023 වසරට සාපේක්ෂව 2024 දී 45% ආදායම් වැඩි වීමක් අපේක්ෂා කරන අතර ඉන් අඩකට වඩා (56%) වැඩි ප්‍රමාණයක් වැට් බදු අනුපාතය වැඩි කිරීමෙන් සහ ඒ මත නිදහස් කිරීම් අඩු කිරීමෙන් උපයා ගැනීමට අපේක්ෂා කරන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි. 2024 අයවැය ඇස්තමේන්තුව අනුව ආණ්ඩුව උපයා ගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 4127ක් වන අතර ඉන් රුපියල් බිලියන 1276ක් විවිධ බදු මගින් උපයා ගැනීමට නියමිතය.
ඒ අනුව එකතු කළ අගය මත වන බදු (වැට්) මගින් රුපියල් බිලියන 720ක්ද ආයතනික ආදායම් බදු මගින් රුපියල් බිලියන 156ක්ද, ආනයන තීරු බදු මගින් රුපියල් බිලියන 87ක්ද, පෞද්ගලික ආදායම් බදු මගින් රුපියල් බිලියන 50ක්ද සුරාබදු මගින් රුපියල් බිලියන 49ක් සහ වෙනත් බදු මගින් රුපියල් බිලියන 215ක්ද උපයා ගැනීමට අපේක්ෂා කර තිබේ.