2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත් හෝ කොවිඩ් පරීක්ෂණ කට්ටල හෝ කිසිවක් මෙරට නෑ

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

 - මහජන සෞඛ්‍ය පරීක්ෂක, සංගම් සභාපති උපුල් රෝහණ 

 

සුගත් පී. කුලතුංගආරච්චි I

ඉන්දියාව ද ආක්‍රමණය කර ඇති නව JN.1 කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජගත වී ඇති බවට මෙතෙක් තාක්ෂණික සාක්ෂි කිසිවක් ලැබී නැති බවත්, නමුත් එය යම් හෙයකින් සමාජගතව පැතිර යාම ඇරඹුණහොත් පසුගිය වරටත් වඩා දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ‘දේශය’ කළ විමසුමකදී පෙන්වා දුන්නේය.

මේ වන විට අවශ්‍ය කොවිඩ් එන්නත් හෝ මෙරට ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා වුවමනා කොවිඩ් පරීක්ෂණ කට්ටල හෝ නැති අතර ඒ අනුව කොවිඩ් පරීක්ෂණ කටයුතු සහ ආවේක්ෂණ සහමුලින්ම බිඳවැටී ඇති අනාරක්ෂිත වටාපිටාවක් තුළ නව ප්‍රභේදය දැඩිව පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට ඔහු අනතුරු අඟවා සිටියි.

වහාම කොවිඩ් පුර්ව ආරක්ෂණ විධිවිධාන නැවත බලගන්වා කොවිඩ් තාක්ෂණික කමිටුව රුස්කර ඉක්මන් ආරක්ෂාකාරී පියවර ගත යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන් ද පෙන්වා දී ඇත.

මේ අතර ජාතික විගණන කාර්යාලයේ (NAO) දත්ත අනුව ශ්‍රී ලංකාවට පසුගිය වසරේ රුපියල් බිලියන 10.73 ක් වටිනා Pfizer COVID-19 එන්නත් ලබා දී ඇති අතර, මේ එන්නත්වලින් සියයට 56 ක්ම 2022 ජූලි වන විට භාවිතයකින් තොරවම කල් ඉකුත් වී ඉවත් කර ඇති බව වාර්තා වේ. ජනතාව තුළ කොවිඩ් භීතිකාව අතුරුදන්ව යාමත්, එන්නත් පිළිබඳ මිත්‍යා හේතුවෙන් අනිසි බියක් පැතිර යාමත් නිසා තුන්වැනි සහ හතරවැනි එන්නත් වටය ලබාගැනීමට ඉදිරිපත්ව තිබුණේ මුල් වටයේ එන්නත ලබාගත් පිරිසෙන් සියයට 20ක් පමණ වූ අවම ප්‍රමාණයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ සභාපතිවරයා මෙයට හේතුව ලෙස පෙන්වා දෙයි. කැස්ස, හිසරදය, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, ගඳ සුවඳ හා රස නොදැනීම කියන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ද කලාතුරකින් ඇඟ මලානික වීම, වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් වහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ පෙන්වා දෙයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01