2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ලියුම් හුටපටය

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

I සංජීවිකා සමරතුංග

දකුණෙන් දියවන්නාවට ආපු අත පාටියේ මෙම්බර් කෙනෙක් හිටපු ගමන් ටෙලිෆෝන් එකට සැට් වුණු බව දැන් හැමෝම දන්නවා.

ඒත් පහුගිය කාලයේ පාටියේ ලොක්කා එක්ක බොහෝම මෛත්‍රියෙන් බොක්කෙන්ම කිට්ටුවෙලා හිටපු මේ දකුණෙ දියවන්නා සගයා එකපාරටම කරණමක් ගැහුවෙ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්නයක්ලු. හැබැයි ඒකට ඇත්ත හේතුව පක්ෂයේ නායකයා පක්ෂය කරන හැටි හරි නැහැ කියලා ලොක්කටම ලියූ රහසිගත ලියුමක්ලු. මේ වැඩේ කරලා තියෙන්නෙ ළඟදි පක්ෂයේ තනතුරු අහිමි කරපු තවත් ලොක්කෙක් එක්ක පූට්ටුවෙලා කියලත් ආරංචියි.මේ ලියුම හුඟාක් සැර භාෂාවෙන් ලියපු බව ආරංචියි. ''ඔබ පක්ෂය ගොඩනගන්නේ නැහැ, පක්ෂය කනවා, පක්ෂය විනාශ කරනවා, පක්ෂයේ හතුරො එක්ක එක පතේ කනවා'' වගේ සැර කතාන්දර තමයිලු ලියුමෙ, ලියලා තිබුණේ. 

ඉතින් එහෙම ලියුමක් ලොක්කට ලියුවට පස්සේ ලොක්කා මෙයාට හීන් නූලෙන් කැපිලි දාන්න පටන් ගත්ත බවත් කියවෙනවා. ඒ නිසා උන්නැහේ ලෙඩ ඇදලා පක්ෂයෙන් එළවන්න කලින් මෙයා වීරයා සේ පක්ෂය මාරු කළේ රට දැය ගැන හිතලයි කියලා ප්‍රකාශයකුත් නිකුත් කරමින්ලු.