2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ආණ්ඩුව බිත්තරේටත් බැස්ස නිසා මිල නැග්ගාලු

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

යසවර්ධන රුද්ද්‍රිගුI

අද රටේ බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව රජය බිත්තර අලෙවි කිරීමට යාම බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී. අලහකෝන් පවසයි. ඔහු දේශය පුවත්පතට සඳහන් කළේ වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු බිත්තර මිල පහළ හෙළීමට යැයි කියමින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නිසා බිත්තර මිල අඩුවීම නොව වැඩිවීමක් සිදුව ඇති බවයි.

රජය ආනයනික බිත්තර මිල ඉහළ දැමූ විට දේශීය ව්‍යාපාරිකයෝ ද එම මිල පදනම් කරගෙන දෙගුණයකින් පමණ මිල වැඩි කිරීමට පෙළඹී සිටිති.

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරවල බර ග්‍රෑම් 35 – 40 පමණ වන අතර දේශීය බිත්තරයක් ග්‍රෑම් 60 – 65 පමණ වැඩි බරකින් යුක්තය. ඒ නිසා වැඩි මිලට හෝ දේශීය බිත්තර ලබාගැනීම වාසිදායක බව සාමාන්‍ය පාරිභෝගිකයන් මෙන්ම බේකරි හිමියෝ ද පවසති. මේ නිසා වෙළෙඳපොළේ බිත්තර මිල මේ වන විට රුපියල් 65 – 70 දක්වා ඉහළ ගොස් ඇත. තවමත් තම ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේ සුදු බිත්තරයක් රුපියල් 50කට සහ රතු එකක් රුපියල් 52ක් වැනි මිලකටය. දැනට බිත්තර මිල ඉහළ දමා ඇත්තේ අතරමැදියන් සහ තොග ව්‍යාපාරිකයන් වන අතර එම මිල ඉහළ දැමීමට නිෂ්පාදකයන් සම්බන්ධ නොමැති බව ලේකම්වරයා කීය.