2024 මාර්තු 23 වන සෙනසුරාදා

මුදල් අමාත්‍යාංශයේ තීන්දුවට ලිට්රෝ පස්ස හරවයි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කල් දැමිය යුතු බවට දන්වමින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. එස් අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු 11 දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යවන ලද ලිපිය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ආයෝජකයන් කැඳවීමට කටයුතු කරන බවට ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

2024 පෙබරවාරි මස 6 වැනි දින මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබීමට ඒකමතිකව තීරණය වී තිබේ. ඒ පිළිබඳව දැනුම්වත් කරමින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස්. අතුල කුමාර මහතා විසින් PED/S/SOES RU/5/16 යටතේ 2024 මාර්තු 11 දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත ලිපියක් යොමු කර තිබුණද, මුදල් අමාත්‍යංශයේ විධාන නොසලකා හරිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට කරගෙන යාමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව කටයුතු කරමින් සිටින අතර 2024 මාර්තු 15 දින ද ආයෝජකයන් කැඳවීමට පියවර ගෙන ඇතැයි ලිට්රෝ සුරුකීමේ ජාතික එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ ප්‍රධානී සුරේෂ් ෂා මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ එවැනි දැනුම්දීමක් මෙතෙක් ලැබී නොමැති බවටය. ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නවතා දැමීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

ලිට්රෝ ගෑස් සමාගම සඳහා පළමුවර ආයෝජකයන් කැඳවීම අසාර්ථක වීමෙන් පසු ආයෝජකයන්ට වැඩි වාසි අත්පත් කර දෙන කොන්දේසි ඇතුළත් කර දෙවැනි වර ආයෝජකයන් කැඳවීමට කටයුතු කරමින් සිටින්නේ ඇතැම් හිතවතුන්ට එම සමාගම ලබා දීමේ අරමුණින් විය හැකි යැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00