2024 ජුනි 29 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ඔස්ට්‍රේලියාවෙන්?

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 265

යොහාන් භාසුර I

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘දේශය’ ට පැවසීය.
ක්‍රිස් රොජර්ස් මහතා ඇතුළු විදේශ පුහුණුකරුවන් තිදෙනකු පිළිබඳව මේ වන විට අවධානය යොමුවී ඇති බවත් එම පුහුණුකරුවන් අතර තරුණම පුහුණුකරු ක්‍රිස් රොජර්ස් බවත් එම නිලධාරියා කීය.

ක්‍රිස් රොජර්ස් මහතා මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඒ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව කී එම නිලධාරියා 46 වැනි වියේ පසුවන රොජර්ස් මහතා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල නියෝජනය කළ ආරම්භක පිතිකරුවකු බවද සඳහන් කළේය. ඉන්දීය තරගාවලියට පෙර හැකි ඉක්මනින් නව පුහුණුකරුවකු පත් කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් සහ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන යන මහත්වරු පසුගිය සතියේ එම තනතුරුවලින් ඉල්ලා අස්වූහ. ශ්‍රී ලංකා පිලේ පන්දු රුකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන විදේශ පුහුණුකරුගේ සේවය පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් සතුටුදායක නොවන බව ද වාර්තා වේ.