2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

සජිත් අනුර රොෂාන් එක තීන්දුවක: නාමල්ගෙන් කොන්දේසි!

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:01 921

දේශපාලන වාර්තාකරු I

වර්ෂ 1994 සිට ගතවූ 30 වසර පුරා පැවති සෑම ජනාධිපතිවරණයකදීම පාහේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් විසින් රටට ලබාදුන් කඩවුණු පොරොන්දුවක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ දේශපාලන පොරොන්දුව මෙවර ජනාධිපතිවරණයේදීත් ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක අපේක්ෂකයන් විසින් රටට ඉදිරිපත් කර ඇත.

ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස, මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක දැනටමත් මේ සම්බන්ධයෙන් රටට ප්‍රතිඥා ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගෙන් දේශය මේ ගැන විමසූ විට ඔහු සඳහන් කළේ සිය පක්ෂය ද විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය යන ස්ථාවරය දරන නමුත් සිය පක්ෂය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් පවත්නා මැතිවරණ ක්‍රමය ද පවත්නා ව්‍යවස්ථාව ද පාර්ලිමේන්තු අනුමැතියෙන් සහ ජනමත විමසුමකින් වෙනස් කළ යුතුය යන ස්ථාවරය දරන බවයි. ඒ අයට අමතරව ස්වාධීන අපේක්ෂක රොෂාන් රණසිංහ ද තමන්ගේ ප්‍රධානම පොරොන්දුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය බව සඳහන් කර ඇත. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන සිය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ කර නැත.

1994 සිට පැවති සියලුම ජනාධිපතිවරණවලදී මෙම කඩවුණු පොරොන්දුව විවිධ අපේක්ෂකයෝ රටට ලබා දුන්හ. මෙකී විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘවරයා වන හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1994 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය මෙම පොරොන්දුව මුලින්ම ලබාදුන් මොහොතේ සඳහන් කළේ විධායක ජනාධිපති ධුරයට පත්වන කවුරුන් හෝ තනතුරට පත්ව සතියක් දෙකක් තුළ මෙම ක්‍රමය අහෝසි නොකළොත් ඔහු කිසිදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු ඇති බවය.