කුසුම්සිරි විජයවර්ධන
නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකුගේ බලපෑම මත වාකරේ කලපුවෙන් හරි අඩක් ඉස්සන් ගොවිපොළවල් ඇති කිරීම සඳහා ඉඩම් අක්කර 2750 ක් නීතිවිරෝධී අන්දමින් ලබාගැනීමේ උත්සාහයක් පවතින බවත්, ඒ නිසා ඒ ඉඩම් භාවිත කරන ප්‍රදේශයේ ධීවර ජනතාව අසරණ වන බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක පරිසරවේදී සජීව චාමිකර දේශයට පැවසුවේය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ද සාකච්ඡා කර ඇති මෙම ව්‍යාපෘතිය නිසා වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 17 ක කලපු ධීවර රැකියාවේ නිරත ජනතාව මෙන්ම කිරිගොවීන් ද අයත් පවුල් 20,000 කට වැඩි ප්‍රමාණයක් අවතැන් වීමට නියමිත බවත්, සජීව වැඩිදුරටත් පැවසුවේය. කිරි ගවයන් හා මී ගවයන් 50000 ක් පමණ වාකරේ කලපුව ආශ්‍රිතව තණබිම්වල ඇතිකරන අතර මීට අමතරව අලි - ඇතුන් 50 කට වැඩි ප්‍රමාණයක් ගැවසෙන භූමියක් වශයෙන් ද වාකරේ කලපුව වැදගත් වේ.
පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පැවසුවේ සෝමවතිය වනෝද්‍යානයේ සිට මේ අලිඇතුන් දෙසැම්බර් - පෙබරවාරි දක්වා කාලයේ මෙහි පැමිණ වනබද තණබිම්වල දිවි ගෙවන අතර කලපුව අවට බිම් අහිමිවීම නිසා අලි මිනිස් ගැටුමක් හට ගැනීමට ඉඩ තිබෙන බවයි. මේ කටයුත්තට එරෙහිව ජනතා විරෝධයක් මතු වී ඇති අතර ජලජීවී වගා ව්‍යාපෘතිවලට භාවිත කරන රසායනික ද්‍රව්‍ය නිසා කලපුවේ ස්වභාවික මත්ස්‍ය ගහණය විනාශ වීමේ අනතුරක් පවතින බව ද ඔහු සඳහන් කළේය. ජාතික පාරිසරික පනත, වෙරළ සංරක්ෂණ පනත හා පුරාවිද්‍යා පනත ද මේ කලාපයේ ව්‍යාපෘතිවලට බලපෑවත් ඒවා නොසලකා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව ඔහු පවසා සිටියේය.