2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

කැකිල්ලේ තීන්දුවෙන් පෙට්රල් ෂෙඩ් අයිතිකරුවෝ හාන්සියි

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 373

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ඉන්ධන බෙදුම්කරුවන්ට දැනට හිමිවන 3% වට්ටම අඩු කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇතැයිද ඒ හේතුවෙන් තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන ආදායම 50% කින් අඩුවන බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සඳහන් කළේය. ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සඳහා 2.75% ක්ද පෞද්ගලික අලෙවිසල් සඳහා 3% ක වට්ටමක්ද මෙතෙක් ගෙවන ලද අතර එම ක්‍රමය වෙනස් කර ලීටරයකට රුපියල් 06 ක් ගෙවීමට තීරණය කිරීම හේතුවෙන් පිරවුම්හල් හිමියන්ට අතින් වියදම් කර ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.

බොහෝ ඉන්ධන හල් මගින් මසකට අලෙවි කරනුයේ ලීටර් 6600 ලෝඩ් (බවුසර්) (20 ත් 25 ත් අතර ප්‍රමාණයකි. ඒ අනුව මසකට එක් අලෙවිහලකට ලැබෙන උපරිම ආදායම රුපියල් ලක්ෂ 9 ක් පමණ වන අතර ඉන් සේවක වැටුප්, විදුලි බිල්, ජල බිල්, නඩත්තු කටයුතු සහ 5.7% ක් වැට් බදු වශයෙන් ද ගෙවිය යුතුය. එවිට පිරවුම්හල් හිමියාට හිමිවන්නේ රුපියල් ලක්ෂයකට අඩු ආදායමකි. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් පිරවුම්හල් පවත්වාගෙන යෑම දුෂ්කර වන අතර බොහෝ පිරවුම්හල් වැසී යාමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව දැනුම්වත් කළ ද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලද හෙයින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.