2025 ජනවාරි 11 වන සෙනසුරාදා

ඩේටා පැකේජ් ගණන් නංවයි

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 285

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ඕනෑම ජාලයක් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ මාධ්‍ය වෙත නොමිලේ පිවිසීමට හැකි දිනකට ගිගාබයිට් එක බැගින් මසකට ගිගාබයිට් 30 ක ප්‍රමාණයක් ලබා දී  තිබූ දුරකතන පැකේජවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නගන බවට බීබීසී සිංහල වෙබ් අඩවිය සඳහන් කරයි.

පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා තිබිණි. ඒ වෙනුවට, 1,298 ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති අතර පසුව නව පැකේජයක් හඳුන්වා දෙමින් දුරකතන සමාගම දන්වා ඇත්තේ එම පැකේජය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,989 ක් බවයි.

මෙම නව පැකේජ ගාස්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය එක්තරා දුරකතන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ගිගාබයිට් 30 පැකේජය ගිගාබයිට් 12 දක්වා අඩුකර ඇති බවටය. පසුගිය සැප්තැම්බර් මස 1 වැනිදා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවද දුරකතන සමාගම ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් තවත් සමාගමකින් විමසීමක් කළ විට එම සමාගම සඳහන් කර ඇත්තේ පැවති පැකේජවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි. මෑතකදී දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවුන් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් අලු‍තින් "Tariff plans" (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවයි. ඉන් පවතින අයක්‍රම සැලසුම්වල මිල වැඩි කිරීමක් හෝ පවතින ප්‍රතිලාභ අඩු කිරීමක් ඉන් සිදු නොවන්නේ යැයි ඔහු ප්‍රකාශ කර ඇත. අයක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු බවද වසරකට පසු  සංශෝධනයකට යෑමට හැකි බවද සඳහන් කර තිබේ. දුරකතන සමාගම්වල අවශ්‍යතාව පරිදි නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලු‍ම් කරන බවද ඔහු සඳහන් කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දී ඇත්තේ ඩේටා පැකේජ හරහා පාරිභෝගිකයන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරීම් සිදුවන බවය.

 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00