කුසුම්සිරි විජයවර්ධන I
මන්නාරම් දූපතේ දැනට පවතින අවදානම් සහගත භුමි ස්වභාවය නිසා එහි මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීම අත්හිටුවීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් තීරණය කර තිබියදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එහි ඛනිජ වැලි කැණීමේ ගවේෂණ සඳහා පරිසර තත්ත්ව වාර්තා සකස් කිරීමට පසුගිය 19 දා උසාවි නියෝග රැගෙන පොලිසියේ ආරක්ෂාව යටතේ යාම විහිලුවක් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක පරිසරවේදී හේමන්ත විතානගේ දේශයට පැවසුවේය.
මන්නාරමේ වැසියන් 2024 වසරේ නොවැම්බර් මාසයේදීත් ඛනිජ වැලි හාරා ගැනීමට බහුජාතික සමාගමකට බලපත්‍ර නිකුත් කිරීමට මන්නාරම් භූමියේ විමර්ශන කටයුතු සඳහා පැමිණි රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ආයෝජකයන්ටද විරෝධතා දක්වා පලවා හැරි බවත් ඔහු සඳහන් කළේය. ඕස්ට්‍රේලියානු සමාගමක් සහ ඉන්දියන් සමාගමක්ද ඛනිජ වැලි කැණීම පසුපස සිටින බවට වාර්තා වී ඇති බව පැවසූ විතානගේ, දූපතේ ඇතැම් කොටස් දැනටමත් මුහුදු මට්ටමට වඩා පහතින් ඇති බවත්, ඛනිජ වැලි හාරාගැනීමට කැණීම් කිරීමේදී මුහුදු ජලය දූපත ගිලගැනීමට ඉඩ ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය. මෙහි ඉදිකර ඇති ලංවිම සුළං බලාගාරවලට පස් පුරවා මාර්ග තැනීම නිසා දැනටත් නිතරම ගංවතුරෙන් පීඩා විඳින ජනතාවට මෙය තවත් විනාශයක් බවත්, ඒ ගැන බලධාරීන් දැනුම්වත් කළ බවත් ඔහු කීවේය. එමෙන්ම හේමන්ත විතානගේ තවදුරටත් පැවසුවේ කැණීම් ආරම්භ කළහොත් දූපත් වැසියන්ගේ පානීය ජලයට කරදිය මුසුවීමද නියත සිදුවීමක් බවයි.