2021 ජුලි 24 වන සෙනසුරාදා

හතරවැනි රැල්ලේ අනතුරේ ඇත්තක් නෑ - ජී.එම්.ඕ.ඒ.

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 20

| චමිඳු නිසල් ද සිල්වා

කොවිඩ් හතරවැනි රැල්ලක් සම්බන්ධව ඇතැම් වෛද්‍ය සංගම් අනතුරු ඇඟවීම් කර ඇතත් එම අනතුරු ඇඟවීම්වල කිසිදු සත්‍යතාවක් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා (දේශය)ට පැවසීය.

ඒ අනුව කොවිඩ් තුන්වැනි රැල්ලද තවම උපරිම අවස්ථාවට ළංවී නොමැති අතර මේ මොහොතේ කතා කළ යුත්තේ හතරවැනි රැල්ලක් පිළිබඳ නොව තුන්වැනි රුල්ල අවසන් කරගැනීම පිළිබඳව බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය. මේ මොහොතේ කොවිඩ් තෙවැනි රැල්ලේ අඩුවීමක් පෙනුණද එය සිදුව ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අවම වීම සහ සේවා පුළුල් නොවීම හේතුකොට බවද ඒ මහතා පැවසීය. එම නිසාවෙන්ම තුන්වැනි රුල්ල අවසන් වීමක් පිළිබඳව හෝ රෝගීන් අඩුවීමක් පිළිබඳව වරදවා වටහා නොගතයුතු යැයිද හෙතෙම සඳහන් කළේය. 

රට එකවර විවෘත නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධනයද පවසා තිබියදී බලධාරීන් හදිසියේ සංචරණ සීම ලිහිල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී තත්ත්වය තවත් භයානක විය හැකි යැයිද වෛද්‍ය කොළොඹගේ මහතා පැවසීය. කොවිඩ් ව්‍යාපෘතිය සම්බන්ධව තමන්හට මෙන්ම ජනතාවටද කාලගුණ වාර්තාවේ අන්තර්ගත තරමටවත් දත්ත තොරතුරු නොලැබෙන බව කොළොඹගේ මහතා තවදුරටත් සඳහන් කළේය.