2021 ජුලි 24 වන සෙනසුරාදා

යාපනේ එන්නත්කරණයේ හොඳයි... නරකයි දෙකම

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 28

| ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සාර්ථක වුවද ලැබෙන එන්නත් ප්‍රමාණයේ අඩුවක් ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය. උතුරේ ලක්ෂ හයක පමණ ජනතාවගෙන් එන්නත්කරණය සිදුකර ඇත්තේ 50000ක පමණ පිරිසකට බවත් ඉතිරි අය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබා දෙන ලෙසට  රජයෙන් ඉල්ලා ඇති බවත් හෙතෙම පැවසීය. මේ වනවිට මන්නාරම දිස්ත්‍රික්කයටද ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගෙන ඇති නමුත් මුලතිව් දිස්ත්‍රික්කය සඳහා තවමත් එන්නත් ලබා දී නොමැති යැයි සඳහන් කළේය.

සෞඛ්‍ය අංශයේ උපදෙස් මත පසුගිය සතියේ සිට ඇතැම් ප්‍රදේශ වසා දමා ඇති අතර එය රෝගය පාලනය සඳහා ගන්නා ලද යහපත් ක්‍රියාමාර්ගයක් වුවද, පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය උපකරණ නොමැති නිසා සිදු කරන පීසීආර් ප්‍රමාණය ඉතා අවම තත්ත්වයක පවතින බවද ඔහු වැඩි දුරටත් පැවසීය. යාපනයේ ඇත්තේ පීසීආර් යන්ත්‍ර දෙකක් පමණක් වන අතර  වවුනියාවේ තිබූ පීසීආර් යන්ත්‍රය මේ වන විට ක්‍රියා විරහිතව පවතී. මෙම තත්ත්වය මත පීසීආර් වාර්තා ලැබීමට දින පහක හයක ගාලයක් ගතවේ. එබැවින් රෝගීන් හඳුනාගැනීමේ ප්‍රමාදයක් සිදුවන නිසා රෝගය ව්‍යාප්තවීමේ තර්ජනයක් පවතින බවද ඔහු කීය.  

උතුරට අවශ්‍ය එන්නත් හා උපකරණ මිලදී ගැනීමට විදේශගතව සිටින දෙමළ ජනයාගෙන් උපකාර ලබාගැනීමට රජයෙන් අවසර ඉල්ලා සිටියද එයට අවසර හිමි නොවූ බවද ඔහු පැවසීය.